2020 ඔක්තෝම්බර් 07 වෙනිදා, මොහොමඩ් මුසම්මිල් මහතා අ.පො.ස. සා.පෙ. හා උ.පෙ. විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ගතවන කාලය අවම කිරීම සම්බන්ධයෙන් යෝජනාවක්, සභාව කල් තබන අවස්ථාවේදි විවාදය ලෙස ගෙන එනු ලැබුවා. ඒ වගේම උදයන කිරිඳිගොඩ මහතා මෙම යෝජනාව ස්ථිර කරනු ලැබුවා. අරවින්ද් කුමාර්, ශාන්ත බණ්ඩාර, වේලු කුමර්, ඩලස් අලහප්පෙරුම, නිරෝශන් පෙරේරා, රෝහණ බණ්ඩාර හා සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් ද පවසා සිටියේ මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බවත්, ඔවුනොවුන්ගේ අත්දැකීම් අනුව මුල පිරුණු අදහස් ද මෙම කල් තබීමේ අවස්ථාවේ යෝජනාවට එක් කරා.
අ.පො.ස. සා.පෙ. විභාගය අවසන් වී මාස 8ක කාලයක් උ.පෙ. ආරම්භ කිරීමට ගත වීමත්, උ. පෙ. අවසන් වී මාස 14ක කාලයක් විශ්ව විද්‍යාලයට යෑමට ගත වන නිසා, එකතුවක් වශයෙන් මාස 22ක කාලයක් නිකරුණේ අපතේ යෑමක් සිදු වෙනවා. මේ කාලය අවම කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට අදාලව මෙම යෝජනාව තුල කරුණු අන්තර්ගත වී තිබුනා.
මොහොමඩ් මුසම්මිල් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
“සමාජයීය වශයෙන් සිද්ධ වෙන දේවල් බලන්න. එක පැත්තකින් උපාධිය ලබා ගැනීම ප්‍රමාද විම නිසා රැකියා වෙලඳ පොලේදී ඔහුට ඇතිවන තරගය. රජයේ පාසලට ගිය දරුවා උපාධිය ගන්න කොට පෞද්ගලික පාසලට ගිය දරුවා පශ්චාත් උපාධියක්, Master’s Degree එකක් අරගෙන තමයි රැකියා වෙළෙඳ පොළට එන්නේ. එතකොට අපේ රජයේ පාසල් වලින් නිදහස් අධ්‍යාපනය හදාරා එන දරුවාට රැකියා වෙළෙඳ පොළේ දී ඒ තරගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්තර්ජාතික පාසල්, පෞද්ගලික පාසල් හරහා යන ළමයෙක්ට වයස අවුරුදු 22 විතර වෙද්දි උපාධිය සම්පූර්ණ කරන්න ක්‍රමවේදය හැදෙනවා රජයේ පාසල් හරහා යන ළමයෙකුට උපාධිය සම්පූර්ණ කරන්න අවුරුදු 25 ක් 26ක් පමණ යනවා. අපට මේ ක්‍රමවේදය ඉක්මන් කරලා විශාල වශයෙන් මැදහත්වීමක් කරන්න පුළුවන් වුණොත්, රජයේ පාසලකින් ඉගෙන ගන්නා දරුවෙකුට අඩුම ගණනේ වයස අවුරුදු 23ක් වෙද්දිවත් උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව නිර්මාණය කරන්නට අපට හැකියාව ලැබෙනවා. ලෝකයේ වෙනත් රටවල ලබා තිබෙන අත්දැකීම් අනුව බලන විට, විශේෂයෙන් ම London A/L වැනි විභාග වලදී මේ තරම් කාලයක් ගත වෙන්නේ නැතුව අඩු කාලයකින් ප්‍රතිඵල නිකුත් කරන ක්‍රමවේදයක් ඒ රටවල තිබෙනවා. ඒ වගේම, මේ කටයුත්ත සඳහා පැමිණෙන ගුරුවරුන්ට ඒ සඳහා තිබෙන අවශ්‍යතාවත් මෙහිදී විශාල වශයෙන් බලපානවා. මොකද, සමහරවිට ගුරුවරයෙක්ගේ පැත්තෙන් ගත්තාම මූල්‍යමය පැත්තෙන් හිතුවොත්, මුලු දවසම paper mark කරනවාට වඩා හවස ටියුෂන් එකක් කරගත්තොත්, මීට වඩා මුදල් ප්‍රමාණයක් සොයාගන්න පුළුවන්. ඒ නිසා මෙම කටයුත්තට පැමිණෙන ගුරුවරුන්ගේ පැමිණීම සඳහා දිරි දීමනාවක් ලබා දිය යුතුයි. ... ඒ වගේම ප්‍රශ්න පත්‍ර බැලීම සහ ඇගයීම් කරන්න තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන් නම් එය ඉතා වැදගත් වෙනවා.”
උදයන කිරිඳිගොඩ මහතා ද යෝජනාව පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටියා.
“මේ කාල සීමාව තුළ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය සඳහා වැදගත් වන භාෂා දැනුම ලබා දීම, වෘත්තීය දැනුම ලබාදිම සම්බන්ධයෙන් රජයක් විදියට අවධානය යොමු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. තවද දැනට පවතින විභාග ක්‍රමය තුල අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන සිසු දරුවාට අවසාන දවසේ විභාගයට පෙනී සිටීමට හැකියාවක් නොමැති වුණොත්, ඔහුගේ ජීවිත කාලය අවුරුද්දකින්, එකහමාරකින් පසුපසට යනවා. මේ ආකරයට විභාග base වුණ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ගිහිල්ලා, කාලානුරූපිව තිබෙන assessment-based අධ්‍යාපන ක්‍රමයකට ගිහිල්ලා, ඒ සියල්ලම එකතු කරලා අවසන් විභාග ලකුණු දීමේ ක්‍රමවේදයකට ගිහිල්ලා, දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්නට අපට පුලුවන්.”
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා සිටින චිත්‍ර සංගීත වැනි විෂයන් සම්බන්ධ තරුණ දක්ෂ උපාධිධාරීන් අධ්‍යාපන ක්ෂේත්‍රයයට සම්බන්ධ කර ගත හැකිනම් එමගින් විශාල මෙහෙයක් සිදු වන බව ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියා. රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන් අතරත් ද්වී භාෂා අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් සිංහල හා දෙමළ මාධ්‍ය වලින් ඉගෙන ගන්නා දරුවන්ට වඩා ඉංග්‍රීසි මාධ්‍ය වලින් ඉගෙන ගන්නා දරුවන් ට විශ්ව විද්‍යාල සහ රැකියා වලට යොමු වීමේදි වැඩි අවස්ථාවක් ඇති බව ගරු වේලු කුමාර් මහතා සභාව ඉදිරියට ගෙන ආවා.
මීළඟට පාසල් අධ්‍යාපනය තුළදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට තම වෘත්තීය සැලසුම් කරන ආකාරය හෙවත් වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබා දිය යුතු බවත්, ඒ සදහා වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක් පාසල් වලට පත් කල යුතු බව නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියා. එයට එක් කරමින් රෝහණ බණ්ඩාර මහතා, විභාග ක්‍රමයේ තිබෙන්නේ මතක ශක්තිය උරගා බලන ක්‍රමවේදයක් පමණක් බවත්, මතකයෙන් ලියා, විභාගය සමත් වී, රැකියාවකට යොමු වූවත්, එම ලැබෙන රැකියාව විශයානුකූලභාවව ලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පැවසුවා.
අවසන් වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය ආකාරය සම්බන්ධව කාර්ය සාධක බලකායක් පත් කල බවත්, ඊට අදාළව සම්පත් දායකයන් ලෙස විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ආදි 200කට වැඩි පිරිසක් මීට සම්බන්ධ කර ඇති බවත්, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දෙමව්පියන් , වෘත්තිය සමිති නියෝජිතයන් සහ දරුවන්ගේද අදහස් සමග සංවාදයක් ඇති කීරිම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කොට ඇති අයුරුත් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා.
මෙතුමා තවදුරටත්, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රථම ධූර කාලසීමාව තුල මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දෙන බව අවධාරණය කර සිටියා.