over 7 years ago by Manthri.lk - Research Team under in Analysis

‘පාර්ලිමේන්තුවේ - මහජන පෙත්සම් කාරක සභාව‘ හඳුනාගත හැක්කේ, රාජ්‍ය ආයතනයක් විසින් ගන්නා ලද ප්‍ර‍තිපත්තිමය තීරණයක් මත හෝ ක්‍රියාත්මක කරන ලද යම් ව්‍යාපෘතියක් නිසා අසාධාරණයට ලක්වන පුරවැසියෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට තිබෙන වැදගත් ම ස්ථානයක් ලෙස ය.

මහජන පෙත්සම් කාරක සභාවේ සංයුතිය දෙස බලන විට, එහි සභිකයින්ගේ සංඛ්‍යාවෙහි ස්ථාවර බවක් නොපෙනෙන අතර, වැදගත් ලක්ෂණයක් ලෙස සභිකයින් නියැදිය ‘සර්වපාක්ෂික වීම‘ නිරීක්ෂණය කළ හැක. 7 වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට සභිකයින් 31 ක් ඇතුලත් ව සිටි අතර වත්මන් 8 වැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට සභිකයින් 20 ක් ඇතුලත් ව සිටී.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 25 (අ) ප්‍ර‍කාර ව, මහජන නියෝජිතයෙකු ලෙස ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මහජන පෙත්සමක් සභාගත කිරීමට බලය ඇති අතර, එසේ සභාගත කරන මහජන-පෙත්සම් ඉන් අනතරුව, ස්ථාවර නියෝග 128 අනුව, එම පෙත්සම් විභාග කටයුතු කරගෙන යනු ලබන්නේ, මහජන-පෙත්සම් කාරක සභාව යි.

කිසියම් මහජන-පෙත්සමකට අදාළව, ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු ගෙන්වා වාචිකව ප්‍ර‍ශ්න කිරීමට, ඔවුන් සතුව ඇති ලිපි ලේඛන පරීක්ෂාවට සහ ඔවුන්ට යම් යම් නිර්දේශ නිකුත් කිරීමේ බලය මහජන පෙත්සම් කාරක සභාවට පැවරී ඇත. මෙහිදී පෙත්සම් කාරක සභාව, පෙත්සම්කරුවන්ට යම් සහනයක් ලබාදීමේ අපේක්ෂාවෙන්, රාජ්‍ය ආයතන/නිලධාරීන් සමඟ සාකච්ඡා කරන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, අවසන් විසඳුම ලැබෙනු ඇත්තේ, ඒ ඒ ආයතන/නිළධාරීන්ගේ මෙහෙයවීමෙනි.

 

මූලාශ‍්‍රය:https://www.parliament.lk/en/news-en/view/1286?category=6

කෙසේ වෙතත්, ඉන් පසුවට - පසුවිපරම් කාර්යයක් හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීම-නොකිරීම පිළිබඳ පසිඳන අධිකරණමය කාර්යයක් එමඟින් සිදු නොවේ.

සාමාන්‍යයෙන් පෙත්සමක් ඉදිරිපත් කරන පෙත්සම්කරුවෙකුගේ නාමික අනන්‍යතාව හැන්සාඩ්ගත වන නමුත්, පෙත්සමේ අන්තර්ගතය හෝ එහි දී විමසන ලද සාක්ෂි වල අන්තර්ගතය මාධ්‍යය හෝ මහජනයාට විවෘත වන්නේ නැති අතර ඒ අනුව පෙත්සම් කාරක සභාවේ පෙත්සම් විභාග කටයුත්ත මුළුමනින් ම රහස්‍ය වන නිසාත්, පෙත්සමක් හැමවිටම පුද්ගලික මට්ටමින් තමන්ට  සිදුවන අසාධාරනයක් පිළිබඳ විමසන නිසාත්,  මහජන-පෙත්සම් කාරක සභාව විසින් කරනු ලබන කාර්යභාරය පිළිබඳ පුළුල් චිත්‍ර‍යක් නොමැත. එමෙන් ම කිසියම් බේරුම්කරණයක් සඳහා දිගින් දිගටම පසු විපරම් කරමින් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමට පෙත්සම් කාරක සභාවට බලය නොමැති නිසා පෙත්සම් කාරක සභාව හරහා මහජනයාට යුක්තිය ඉටුකරගැනීමට තිබෙන ඉඩ ප්‍ර‍ස්ථාව යම්තාක් දුරකට ඇහිරී ඇත. තව ද පාර්ලිමේන්තු සැසිවාරයක් පාසා පෙත්සම් සභා ගත කෙරෙන පෙත්සම් ප්‍ර‍මාණය ප්‍ර‍මාණාත්මකව අති විශාල වීම නිසා, ප්‍රායෝගිකව ඒවා සලකා බැලීමට පෙත්සම් කාරක සභාවට අනුයුක්ත සම්පත් ප්‍ර‍මාණය ප්‍ර‍මාණවත් නොවීම නිසා පෙත්සම් විභාගය අකාර්යක්ෂම වී ඇත.

මේ සියලු කරුණු හේතුකොටගෙන පෙත්සම් කාරක සභාවේ කටයුතු පිළිබඳ මහජන උදාසීනත්වයක් ඇති වී තිබිය හැකි අතර එනිසා ම එහි කාර්යසාධනය/ඵලදායිතාව පිළිබඳ Manthri.lk විසින් තොරතුරු සොයාබලන ලද අතර, එහිදී අනාවරණය වූයේ, 2016 වසරට අදාළව පෙත්සම් 1208 ඉදිරිපත් වී ඇති බවත්, ඉන් 302 කට පමණක් සාර්ථක විසඳුම් ලබා දී ඇති අතර ඉතිරි 906 ට විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බවත් ය.

කෙසේ වෙතත්, පෙත්සම් කාරක සභාව මහජනයාට යුක්තිය සාධාරනය ඉෂ්ට කරවාගැනීමට තිබෙන ඉතා වැදගත් ආයතනයක් වන බැවින්, එහි කාර්යක්ෂමතාව/ඵලදායිතාව ඉහළ නංවාගැනීමට සියලු වගකිවයුතු අංශ/පුද්ගල මැදිහත්වීම වැදගත් ය.